Story

නව ශ‍්‍රී ලාංකික ව්‍යාපාරයක් පීඩිත දැයට අත දෙයි

අප්‍රේල් 7, 2020
COLOMBO, SRI LANKA – DECEMBER 14: A customer is seen while being driven inside a Pick-Me "three wheeler" on the outskirts of the Sri Lankan capital on December 14, 2018 in Colombo, Sri Lanka. Pick-Me's future plans includes expanding the business into the food delivery services, and gradually incorporating electrical "three wheelers" to help minimize pollution in the country in an effort to reshape the transportation industry in Sri Lanka. Photo by Omar Havana / IFC

ජෝන් නාරායන් පරාජුලි සහ සවනි ජයසූරිය විසිනි

කොළඹ දී - COVID -19 මෙරට පැතිරයාම වැළැක්වීම සඳහා අත්‍යාවශ්‍ය පියරවක් ලෙස මාර්තු 20 දා වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පණවන්නට රජයට සිදුවිය. එහෙත්, දිවයින පුරා බොහෝ දෙනෙක් සේම රෝයි කෙවින් ඇලෝසියස් මහතා ද තමන්ගේ රැකියාව අහිමිවන්නට යතැයි බෙහෙවින් කනස්සල්ලට පත් විය.

“මගේ මුඵ පවුලම ජීවත්වෙන්නේ මගේ රස්සාව නිසා” ඇලෝසියස් මහතා කියයි. ඔහු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම කුලීරථ ඇප් එක හඳුන්වාදුන් PickMe සමාගමේ රියැදුරෙකි. ඇඳිරි නීතිය නිසා තම වාහනයෙන් රැකියාව කරගත නොහැකි බවට ඔහු බියපත්ව සිටියේය. PickMe යනු, කුලීරථ රියදුරන් සහ මගීන් අතර සබඳතාව තාක්ෂණයෙන් සවිබල ගන්වන සේවාවකි. “ඒත් දවස් දෙක තුනකින් මට PickMe ප‍්‍රධාන කාර්යාලයෙන් දැනගන්න ලැබුණා, එයාලා අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවෙස්වලටම ගිහින් දෙන සේවාවක් පටන් ගන්න හදන බව,” ඔහු කියයි.

PickMe සේවාව සතුව ඒ වන විටත් කුලීරථ මෙන්ම ආහාර ප‍්‍රවාහන සේවාවක් ද විය. රටේ ඇතිව ඇති තත්ත්වය හමුවේ මේ සියල්ල නතරවී ඇලෝසියස් වැනි රියැදුරන් විශාල සංඛ්‍යාවකගේ රැකියා නැතිව යන්නට ඉඩ තිබිණ. එහෙත් හදිසි සේවාවන් ඇරඹීමත් සමග ඔවුන්ගේ තෙමුණු නෙත් වියළා ගැනීමටද දේශයේ හදවත්වලට තෙතමනයක් එක් කරන්නට අවස්ථාවක් එළබුණි.

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනය කරන්නට ඉදිරිපත් වූ මුල් ආයතනවලින් එකක් බවට ඒ අනුව PickMe පත් විය. දැය වෙනුවෙන් සටන් වදින තම රියැදුරන් හට ඔවුන් සෞඛ්‍යාරක්ෂණ පුහුණුවක් ලබා දුන්නේය.

පළමු සතිය තුළදී සමාගම විසින් රියදුරන් 1,000කට වැඩි ප‍්‍රමාණයක් බලමුලූ ගැන්වූ අතර, ගෑස් සිලින්ඩර් සහ අනෙකුත් සිල්ලර භාණ්ඩ බෙදා හැරීම් 7,000 කට වඩා වැඩි ප‍්‍රමාණයක් කරන්නට සමත් විය. ක්ෂණික ඇමතුම් සේවාවක් ඇරඹූ ඔවුහු, සෞඛ්‍ය සේවා නිලධාරීන්ට රෝහල් වෙත කඩිනමින් ළගා වීමට පහසුකම් සැලසූහ.

PickMe mobilized more than 1,000 drivers to make over 7,000 delivery runs in the first week of lockdown.
මහජනතාවට නිවසට වී සිටීමට ඇඳිරිනීතිය පැනවූ පළමු සතිය තුළ PickMe විසින් රියදුරන් දහසකට වැඩි ප‍්‍රමාණයක් ඇණුවුම් 7000 කට වඩා පාරිභෝගිකයන් අතර බෙදා හැර ඇත.

PickMe සතු ව්‍යාපාරික සැලැස්ම සහ තාක්ෂණයේ භාවිතය නිසා ඔවුන්ට එක් රැයකින් කුලීරථ සමාගමක සිට ප‍්‍රවාහන සමාගමක් බවට ක්ෂණිකව පරිවර්තනය වන්නට හැකි විය. එම සේවාවන් මුලදී කොළඹට පමණක් සීමා වුවත් දැන් ඔවුන් එය තවත් ප‍්‍රදේශ කිහිපයකට ද විස්තාරණය කර තිබේ.

2015 දී සුල්ෆර් ජිෆ්රි මහතා විසින් PickMe සමාගම අරඹනු ලැබීය. එය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් සහයෝගය දුන් ශ‍්‍රී ලංකාවේ පළමු ආරම්භක ව්‍යාපාරය /නව ව්‍යාපාරය (start-up) විය. ඉන් ලද ඩොලර් මිලියන 2.5ක ආයෝජනය ශ‍්‍රී ලංකාව තුල ආරක්ෂාකාරී ප්‍රවාහන සේවයක් ලබාදීමට පිටුවහලක් විය. එමෙන්ම, PickMe ආයතනයේ ආදායම ඉහල නැංවීමට සහ ශ්‍රී ලංකාව තුල ආරම්භක ව්‍යාපාර වල වර්ධනයටද උපකාරී විය.

COVID -19 වසංගතය මෙරටට සේන්දු වත්ම “මගීන්, රියදුරන්, යතුරුපැදි කරුවන්, ගනුදෙනුකරුවන් සහ වෙළෙන්දන් දැනුවත් කිරීමට ගත හැකි සියලූ ක‍්‍රියාමාර්ග” ගැනීමට තම සමාගම කටයුතු කර ඇති බව ප‍්‍රධාන විධායක නිලධාරි ජිෆ්රි පවසයි.

ගනුදෙනුකරුවන්ගේ සහ රියදුරන්ගේ සෞඛ්‍යාරක්ෂාව ඉතා වැදගත් කොට සලකමින් මුදල් රහිත ගෙවීම් විකල්ප හඳුන්වා දීම සහ රියදුරන්ව දෑත් සේදුම් දියර හා මුහුණු ආවරණ වලින් සන්නද්ධ කිරීම වැනි පියවර රාශියක් ක‍්‍රියාත්මක කිරීමට සමාගම ක්ෂණිකව කටයුතු කළේ ය.

“ආරක්ෂාව ප‍්‍රථමයෙන් යන තේමාව යටතේ අපි අපේ සම්පූර්ණ ආයතනය ම ප‍්‍රතිසන්ධාන ගත කළා. අපගේ සේවකයින්, රියදුරන් සහ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා බලධාරීන් විසින් ලබා දී ඇති ක‍්‍රියා පටිපාටි සහ ක‍්‍රියාමාර්ග අපි දැඩි ලෙස පිළිපදින්නෙමු,” ජිෆ්රි මහතා පවසයි.


දවස පුරා ම හදිසි බෙදාහැරීම්

ඇඳිරි නීතිය පණවා ඇති කාලයන් තුළදී පවා බෙදාහැරීම් සේවා සපයන්නට PickMe සමත් විය.

“අපගේ තාක්ෂණික පසුබිම සහ සවිමත් යටිතල පහසුකම් නිසා භාණ්ඩ වෙත පාරිභෝගිකයා ගෙන යනවා වෙනුවට, පාරිභෝගිකයා වෙත භාණ්ඩ ගෙන එන සේවාවක් සපයන්නට අපි ක්‍රියාත්මක වුනා. රජයේ සහයෝගයත් ඇතිව අත්‍යාවශ්‍ය භාණ්ඩ දිනපතාම ජනතාව වෙත ගෙන යන්නට අපිට ඒ අනුව හැකියාව ලැබුණා,” ඔහු පවසයි.

ඇඳිරි නීතිය පණවා තිබියදී රිය පැදවීම අවදානම් සහගත කටයුත්තකි. එහෙත් PickMe සමාගම පොලිස් ස්ථාන දැනුවත් කොට ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ කලට වේලාවට ලබා දෙන බව සහතික කළේය. ඊට සමගාමීව ක්ෂණික ඇමතුම් අංකයක් ද හඳුන්වා දෙනු ලැබූ අතර ඉන් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට තම රැකියා ස්ථාන වෙත පහසුවෙන් ළගා වන්නට පහසුකම් සැලසිණි.

With support from the government, PickMe started offering deliveries during curfew hours.
රජයේ සහය ඇතිව PickMe විසින් ඇඳිරි නීතිය ක‍්‍රියාත්මකව ඇති කාලයේ පාරිභෝගිකයන් අතර ඇණහුම් බෙදා හැරීම ආරම්භ කළේය.

මීට පෙරද, PickMe ආයතනය අර්බුදකාරී අවස්ථාවන්හීදී පිහිට වී ඇත. 2017 වර්ෂයේ ගංවතුර ඇතිවූ අවස්ථාවේදී ද හමුදා බෝට්ටු සේවාවන් තාක්ෂණයෙන් සවිබල ගන්වන්නට ඔවුන් සමත් විය.

“දැනට අපගේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා දීමෙන් අපේ රටේ ජනතාවගේ ආර්ථික හා සමාජීය දුෂ්කරතා ලිහිල් කිරීම සහ රටට සේවය කිරීමට ඉදිරිපත් වී සිටින අපගේ රියදුරන්ගේ සහ යතුරුපැදි කරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම යි,” ජිෆ්රි මහතා පවසයි.

ජිෆ්රි මහතා PickMe සමාගම ඇරඹූයේ ශ‍්‍රී ලංකාවේ විශාලතම සන්නිවේදන සැපයුම්කරුවකු විසින් තමා පෙර ඇරඹූ ආයතනය වූ අන්තර්ජාල වෙළඳසල් වෙබ් අඩවිය මිලදී ගැනීමෙන් පසුව ය. ඔහු PickMe ඇරඹූයේ තම ඉතිරි කිරීම් සහ ආයෝජකයන්ගෙන් ලද රුපියල් මිලියන 2ක ප‍්‍රාග්ධනයකිනි. “තාක්ෂණයෙන් බල ගැන්වුණු ආයතනයක් අරඹන්න මට ලොකු අවශ්‍යතාවයක් තිබුණා. මීට වසර 5කට කලින් ලංකාවේ තාක්ෂණයෙන් බලගැන්වුණු ටැක්සි සේවාවක් තිබුණේ නැහැ. ඉතින් එය හොඳ ව්‍යාපාරික අවස්ථාවක් බව මට වැටහුණා,” ඔහු කියයි.

දැන් ඔහු COVID-19 වසංගතය හමුවේ තාක්ෂණයේ බල මහිමයෙන් ජාතිය සවිබල ගන්වමින් සිටී.

“අපේ රට විතරක් නෙවෙයි, මුඵ ලෝකයම මේ වෛරසයෙන් පීඩා විඳින හැටි අපිට පේනවා. දෛනික ජීවිතයත් අඩාල වෙලා. මේ වගේ දුෂ්කර කාලයකදී තාක්ෂණය ජනතාව සමීප කරමින් පිහිට වෙන හැටි දැක්කාම මටම පුදුමයි,” ජිෆ්රි මහතා පවසයි.

“නව ආර්ථික රටාවක් දැන් හිස ඔසවමින් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. එයට හේතුව වෙලා තිබෙන්නේ තාක්ෂණය සහ තමන්ට එල්ලවුණු අභියෝගය හමුවේ හිස ඔසවන්නට වෙර දරන ධෛර්යමත් මිනිස්සු නිසායි. ඉන් නව ආර්ථිකයක් වගේම සාමාන්‍ය ජීවිතත් නවමු මාර්ගයකට එළඹේවි,” ඔහු තවදුරටත් පැවසුවේය.

ප්‍රකාශනය අප්‍රේල් 2020